නොගැලපීම


අහම්බෙන් මුවා වෙන්න තනන
නිරුත්තර හිතට එරෙහිව
පැන නැගුනු වේදනා කඳු
මුවා කරයි
සිහිනය,
ආශාව….
බොර පැහැති කැන්වසයේ
එහේ මෙහේ ගිය
පින්සල් පහර
ඔච්චම් කරයි
දියාරු වැඩිවූ
දියසායම් මත….
නිසසලව ඇදහැලෙන
මහා වරුසාව
ගිගුරුම් දෙයි
සිතට නොදැනීම,
විනාස කරමින්
සතුට….
නෙක පාට පිරුණු කැන්වසය,
එහේ මෙහේ ගිය පින්සල,
අවසාන කල සිත්තම,
එකෙකුට
මහා නිපැයුමක් වුවද,
බලි කුරුට්ටකි
තවෙකෙකුට……..

රුසිරු බොතේජු

නැළවිලි ගීය


ලියන්නේ මේ කව
ඔබ වෙතමය
ලොව අලංකාරම
මාංශ පේෂිය
දිග හැරෙන
හැකිලෙන
අලංකාරය….
මුසපත්වෙයි
රිද්මයෙන්
මා මනස.
සමවැදුනාක් මෙනි,
මා සිත ධ්‍යානයකට
පසුකර යන්නේ කෙලෙස මා….
වාරු නැත මා දෙපයට
ගමනාන්තය ලංවිය
ඔබ මගෙන් වෙන්විය….

රුසිරු බොතේජු