මම


මම,
විප්ලවවාදියෙක් නොවෙමි
දේශපාලනය නොදන්නෙමි
දාර්ශනික පොත් කියවා නොමැත්තෙමි
පුස්තකාලයේ ජීවත් නොවූවෙමි

එහෙත්,
මෙලොවෙහි ජීවත් වන්නෙමි
බසයේ ගමන් යන්නෙමි
පෙට්ටි කඩෙනුත් කෑම කන්නෙමි
වෙනස් දහමක් අදහන්නෙමි

එනමුදු,
රූපවාහිනී නොබලමි
වේදිකානාට්‍ය නොබලමි
සිංහල චිත්‍රපට නොබලමි
පැරණි සින්දු නොඅසමි

ඒ කෙසේවෙතත්,
උඹ හිනා වෙන දේටම
මටත් හිනායන බැවින්
උඹ හඬන විට
මටද හැඬෙන බැවින්
උඹෙයි මගෙයි වෙනසක්
මම නොදන්නෙමි….

රුසිරු බොතේජු

නුඹ (සූත්තරකාරිය)


නිම්තෙර අභියස
සුපිපුණු කුසුමක
පෙතිඅග නැවතුනු
පිනිබින්දුව
නුඹ…
ඝනඳුර වසාලූ
භයංකර රාත්‍රියේ
තරු කැට අතර දිලිසුන
මන්දාකිනිය
නුඹ…
දෙනෝදාහක් මැද
ප්‍රශංසා ලැබුවද
හදවතට රිදුම්දෙන
වේදනාව
නුඹ…
මගෙ අත නොරැඳුනද
වෙනකෙකු අත රැඳුනද
ඔහුටද දුක් දෙන
සූත්තරකාරිය
නුඹ…

රුසිරු බොතේජු

නුඹ එපා කීවායයි මතක


බලා සිටියෙමි
කවුළුවෙන් එපිට
පානගන
ඇය දෙස…
නුඹ මා හැඳිනූ
කථා කෙරූ
කාලය
ගෙවි ඇත…
දුකක් නැතිමුත්
සතුටක්ද නැත
මා සිත තුළ….
එසේ වූවද
උදෑසන සුව
නොවේ මට!!!…
නුඹ මා දුටුවද
නුදුටු ලෙස
සිටියේ කෙලෙස…
මා කථා නොකලේ
නුඹ එපා කීවායයි මතක…

රුසිරු බොතේජු

මිහිඳුම් සේද


මිහිඳුම් රැලිමතින්
විලි වසාගත් නුඹ
සේද මාවතේ හුන්නද
නැත සළුපිළි
පිරිවරා..
සිහින දනව්වට එහා
අනන්තය පෙනී
නොපෙනෙන මානයේ
කුමන අඟූන් දෙසදෝ
බලන්නේ නුඹ
හැඟුම් බරවූ
බැල්මකින්….

රුසිරු බොතේජු